Thursday, June 14, 2012

පට්ටම ආතල් කාලෙ ආතල් කතා (6) - ශාන්ත සර් සහ අපි

දෙයියනේ කියල අපිට ඒලෙවල් කාලෙ හිටපු සර්ල ගොඩක් අය කොල්ලන්ටම ගැලපෙනව, සමහර වෙලාවට පිස්සුඑ හැදෙනව පොරවල්ගෙ වැඩ දැක්කාම.
අපිට ඒලෙවල් වලට කෙමිස්ට්‍රි උගන්නන්න හිටපු එක සර් කෙනෙක් තමා, ම්ම් අපි කියමුකෝ ශාන්ත සර් කියල, සර් ටිකක් අමුතුයි, කතාව, ඇවිදින විදිය, සපත්තු ගෙවෙනවා ඇති මාසෙන් අද්ද අද්ද ඇවිදිද්දි.  සර් කෙමිස්ට්‍රි වලට පට්ටයි, ඒදවස්වලත් හෙන ටියුශන් කප්පිත්තෙක්, ලංකාවෙ එක පලාතක හෙනට ප්‍රසිද්දයි මේ සර්.

ඔන්න දවසක් පාඩමේ එනව උත්ප්‍රේරක ගැන

සර් : අයිසෙ, උත්ප්‍රේරක, උත්ප්‍රේරක ජාති දෙකක් තියනවා, එකක් ධන උත්ප්‍රේරක අනික රින උත්ප්‍රේරක, ඒ කියන්නෙ අයිසෙ, ඔය ප්ලේන්ටියක් ගහල සිගරට් එකක් බොන්නෙ, ඒ ධන උත්ප්‍රේරකයක්, රින කියන්නෙ ඉතින් පැනඩෝල් ගහල නිදාගන්නවා වගෙ.

(මේ රින කියන එක හරියට ලියන්න දන්නෙ නැතෝ)

ඔන්න තව දවසක් කොල්ලෙක් පංතියෙ නිදි, සර් දැක්ක,

සර් : නැගිටපන්, දුවපන් කැන්ටිමට, ගිහින් ප්ලේන්ටියක් බීල වරෙන්




ඔය එක කතාවක්, දවසක් අපි කෙමිස්ට්‍රි ලැබ් එකෙ මොනවදෝ මන්දා ටෙස්ට් වගයක් කරකර ඉන්නකොට සර් ගියා එලියට අපිට වැඩ කරන්න කියල.
අම්ම ගහයි බැට් එකෙන්, මොන කෙමිස්ට්‍රිද, අපි සෙට් එක අර එක එක අඬු ජාති අරගෙන, පතරංග වගෙ දිග මේස වලට ගගහ සිංදු කියන්න සෙට් උනා, අර දන්නවානෙ තම්මැට්ටමද කොහෙද බෙරේ ගහන එක වගේම අඬු ජාතියක් තියෙන්න, දැහි අඬුද මන්දා, ඕවා තමයි භාන්ඩෙ, දැන් ලෙසට නැගල යනව සිංදු, අපි වගෙ නෙවෙයි වැඩ කරන්න "බැරි" උන් පරීක්ශනේ කරනවා, අපි සිංදු කියනවා.
අපි සිරාවට හිතුවෙ සර් එනෑකක් නෑ කියල, කොහෙ, එකපාරටම සර් කඩාගෙන පන්නනෙ ලැබ් එකට, සර්ට මල පැනල මල බිමදිගේ, කානු දිගේ හිටන්..

උඹල යකෝ මම නැති ටිකට ඩෙඟ නටනව.. @%$%# ^#%^%^%$^#@%!%, සිංදු කියපු උන්, පලයල්ල එලියට

අනේ ඉතින් අපි කීකරු ශිෂ්‍යයෝනෙ, ඔන්න අපි සෙට් එක එලියට ගියා... ඉවරයි කිව්වව කතාව ඉවරම නෑ

සරුත් ආව එලියට,
(හෙන ගෝරනාඩු සද්දෙන්)
තමුසෙල පෝලිමකට ඉන්නවාලා

අපිත් ඔන්න පෝලිමේ, සර් පටන් ගත්ත එක කෙරවලකින්, ඔන්න අල්ලගත්ත පලවෙනි එකාගෙ කොලර් එකෙන්, චට පට ගාල දෙකක් නෙලුවා මූන දෙපැත්තටම, ඊට පස්සෙ අහනවා
පරය තෝ සිංදු කීවද
(ආයි ඉතින් ඕක අහන්න දෙයක්කද, සිංදු කියපු හින්දනෙ එලියට ආවෙ කියල අපිට කියන්න හිතුනත්, ආයි මොකටද සර්ව කලබල කරන්නෙ හිතල අපි ඒක ඇහුවෙ නෑ, අනික මෝකො අර හැදිච්ච උන් එලියට එයිද උන් ඇත්තටම සිංදු කිව්වත්)

ඉතින් කොල්ල කියනව, ඔව් සර්, ආයෙත් චට පට ගාල දෙකක් නෙලනවා ඊට පස්සෙ අනිකව, සේම් මෙතඩ්, ගහනව,අහනව,ඔව් කියනව, ආයි ගහනව. මාර සිම්පල් ප්ලෑනක් නේද සර්ගෙ.

ඔය අතරෙ මරු සීන් දෙකක් උනා, ඔහොම එකෙක්ගෙ කොලර් එකෙන් අල්ලද්දි උගෙ බොත්තමක් ද කොහෙද වටුනා,
සර් : අහුල ගනින් ඒක, (අරු ඔන්න ඒක අහුල ගත්තා ) හරි දැන් ඕක කටේ දාගෙන හපපන්.. අරු බොත්තම දාගෙන හපද්දි ගුටි කන අපිට මැරෙන්න හිනා, මොනා කරන්නද සංසාරේ සංසාරේ.

අනිත් සීන් එක තමයි, තව එකෙක්ට නෙලද්දි, උගෙ ඇඟෙ හැප්පිලා උගෙ ලඟම හිටපු එක පොලිමෙන් පිටිපස්සට විසි උනා, අනෙ සරුත් ඌව අතඇරල අනිත් උන්ට නෙලාගෙන ගියා පෝලිම ඉවර වෙනකම්. හැබයි මිස් වෙච්ච එකාගෙ හැපිය තිබ්බෙ ටික වෙලාවයි, පෝලිමටම නෙලල ඉවරකරපු සර් ආව මූ ලඟට, උගෙන් මුකුත්ම අහුවෙත් නෑ, චට පට චට පට.

මම කලිනුත් කිව්වනෙ, ඉවරයි කිව්වව කතාව ඉවරම නෑ. සර්ගෙ ඊලඟ ඔර්ඩර් එක, ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඉස්සරහා අව්වෙ හිටගෙන ඉන්න එක, ඒකනම් අවුල්, මේන් ගේට් එක ලඟම, හැම එකාටම පේනවා, ඔන්නඔහෙ සර්ගෙ හිත රිදෙයි කියල අපි ගිනි අව්වෙ හිටන් ඉන්නවා, එහෙම හිටිය කියල ඉතින් අපි අපිමනෙ, දැන් හෙන කයියවල් සෙට් එක, හවසට බඩු බහින ඒවා, ක්ලාස් කට් කරන ඒවා කීයක් කියල මාතෘකාද කතා කරන්න,
ටිකකින් අපිට පිටිපස්සෙන් ඇහෙනවා කට හඬක්

මේ, ටිකක් හිමින් කතා කරනවාකෝ, ප්‍රින්සිපල්ට ඇහුනොත් එහෙම. ඒක නෙමේ, මේ තමුසෙල මොකද අව්වෙ ඉන්නෙ

අනේ අපේ ශාන්ත සර්ම තමා තොත්ත බබා වගෙ එහෙම අහන්නෙ...

සර්නෙ අපිට ඉන්න කිව්වෙ
එහෙමද, එහෙනම් ඔන්න ඔහෙ පංතියට එනවකෝ අව්වෙ කර වෙන්නෙ නැතුව.

කතාව ටිකක් දිග වැඩියි, ඒත් තව එක සීන් එකක් දාන්නම්කො,
උඹල දන්නවනෙ කොල්ලො ඉස්කෝලෙ කට් කරල පනිනව කියල, ඒත් උඹල අහල තියනවද ටර්ම් ටෙස්ට් එකට අවිත් කට් කරනවා, ඔන්න වැඩිම උනොත් විභාගෙට එන්නෙ නැති වෙයි, දවසක් අපිට ටර්ම් ටෙස්ට්, සබ්ජෙක්ට් එක මතක නැ, පේපර් 2 කියල මතකයි..

ඔන්න අපිට පේපර්ස් බෙදල, අපිත් දැන් ලියන්න ලෙසටම, විනාඩි පහක් ගියේ නෑ, නලිය හරි, අමිලයා හරි, කියනව අනෙ මචන් යන්කෝ බන්, මට ලියන්න බෑ, පොඩි කේස් එකක්. හතිලව්වයි කලාබරයයි කිව්වලු, මොනා කරන්නද, ඔන්න අපි දෙතුන් දෙනා නැගිට්ට, වෙලාවට අපෙ ක්ලාස් සරුත් නෑ, හීනියට ඔන්න එනව පෙපර් රෝල් කරගෙන එලියට පනින්න, කෙලිය තාප්පෙට, ශාන්ත සර් ඉන්නවා කොරිඩෝ එක කෙරවලෙ, විභාගෙට ඩෙස් ඈත් කරන හින්දා කස්ටියක් කොරිඩෝවට වැටෙනවානෙ, අන්න උන්ව නිරීක්ශනය කරන්න.

දැන් මොකෑ කොරන්නෙ කියල හිතන කොට
(නලියා) මචාන්ස්, හිනියට ඔහොමම පලයන්, දැන් ඉතින් මොනා කරන්නද.

ඉතින් ඔන්න අපි දැන් යනව, සර් අපි දිහා බලාන ඉන්නව, අපි සර්ව පහු කරනවා, සර් ඒත් අපි දිහාම බලාගෙන ඉන්නවා, ඔන්න අපි සෙට් එකම සර්ව පහු කරා, ම්හු, කිසි අතුරු අන්තරාවක් නෑ, දැන් හිතා ගන්න බෑ මොකද උනේ කියල, ඔහොමම අපි පඩි පේලිය ලඟට යනකොට අපිට ඇහෙනවා සර් කොරිඩෝ එකෙ ඉන්න කොල්ලන්ට කියනවා

ෂා... කුඩු කාරයො ටිකක්ද කොහෙද

ප.ලි : සිරාවට, මම මේ සර්ල ගැන කියන කතා අපහාසෙකට නම් නෙවේ, මොනව උනත් බුදු සර්ල ටිකක් හිටිය, අපිට සිරාවට උගන්නන්න, අනික ඔය සර්ල හරියට දැනගෙන හිටිය කොල්ලො උනාම කොලු කාලෙට පිස්සු කෙලිනවා ඒත් ඒව කන්ට්‍රෝල් කරන්නෙ කොහොමදත් කියල. සමහර වෙලාවට පට්ට සැරෙන්, නැත්නම් හෙන ෆ්‍රෙඬා වගෙ, කොටින්ම ඔය සර්ල දැනගෙන හිටිය අපි ඇත්තටම කොයි වගෙ උන්ද කියල. අපි පිස්සු කෙලියත් වැඩෙ තිතට කරනවා කියල.

මම කැරැට්ටු සර්ටිෆිකේට් එක ගන්න ගිය වෙලාව, ඒලෙවල් සෙක්ශන් හෙඩ් කිව්වෙ,
අනෙ මන්ද මේ යක්සයට A දීලත් බෑ, නොදීත් බෑ, එහෙම කියල අවුරුදු දෙකටම හැම කැටගරියකටම A දුන්නනෙ.. ඇඬෙනව